ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් මාලාවට සමගාමීව, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක කාන්තාවන්ගේ ආර්ථික ශක්තිය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ලද විශේෂ වෙළඳ ප්‍රදර්ශනයක් ඊයේ (20) මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් (KCC) පරිශ්‍රයේදී ආරම්භ විය. සීමාසහිත මහනුවර කාන්තාවන්ගේ ව්‍යාපාර සමූපකාර සමිතිය මඟින් සංවිධානය කර ඇති මෙම ප්‍රදර්ශනය සඳහා ග්‍රාමීය තිරසර සංවර්ධන ආයතනය (IRSD), මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ලංකා බැංකුව සිය සක්‍රීය දායකත්වය සපයා තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමාරම්භක අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ විද්වතුන් පිරිසක් සහභාගී වූහ. ග්‍රාමීය ව්‍යවසායක කාන්තාවන්ගේ නව නිර්මාණ සඳහා වෙළඳපොළ අවස්ථා උදාකර දීම සහ ඔවුන්ගේ ව්‍යවසායකත්ව කුසලතා ඇගයීමට ලක් කිරීම මෙම ප්‍රදර්ශනයේ මූලික අපේක්ෂාවයි. පවතින ආර්ථික අභියෝග හමුවේ වුවද දේශීය නිෂ්පාදන දිරිමත් කරමින් කාන්තාවන් සවිබල ගැන්වීම මෙරට තිරසර සංවර්ධනයට සෘජු දායකත්වයක් සපයන බව මෙහිදී අවධාරණය කෙරිණි.














