වාන්ඇල – කන්තලේ මාර්ගයේ පංසල්ගොඩැල්ල ප්‍රදේශයේදී ඊයේ (17) සවස සිදුවූ දරුණු යතුරුපැදි අනතුරකින් 26 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අධික වේගය හේතුවෙන් යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන වැටක කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ තිදෙනෙකු ගමන් කර ඇති අතර, පැදිකරුට වේගය පාලනය කරගත නොහැකි වීම නිසා යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ වැටක කණුවක දරුණු ලෙස ගැටී ඇත. බරපතල තුවාල ලැබූ තිදෙනාම ප්‍රදේශවාසීන් විසින් වහාම කන්තලේ රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල්ගත කිරීමෙන් අනතුරුව යතුරුපැදිකරු මියගොස් ඇති අතර, මියගොස් ඇත්තේ වාන්ඇල ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකි. අනතුරින් තුවාල ලැබූ අනෙක් තරුණයින් දෙදෙනා මේ වන විටත් කන්තලේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.
වාන්ඇල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන අතර, යතුරුපැදියක තිදෙනෙකු ගමන් කිරීම සහ අධික වේගය මෙම මාරක අනතුරට ප්‍රධාන හේතු වී ඇති බව පොලිසිය පෙන්වා දෙයි.














