කන්තලේ ගල්මැටියාව වැව පාර රුපියල් මිලියන 8.5ක ප්‍රතිපාදන යටතේ කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බව අද (27) වාර්තා වෙයි. රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘පුනරුදයට මග’ වැඩසටහන යටතේ මෙම සංවර්ධන කටයුතු සිදු කෙරෙන අතර එමගින් ගල්මැටියාව ප්‍රදේශයේ පවුල් 100කට අධික සංඛ්‍යාවකට සෙත සැලසීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය යටතේ ගල්මැටියාව වැව ප්‍රදේශයට පිවිසෙන මාර්ගයේ මීටර් 180ක පමණ දුරක් කොන්ක්‍රීට් අතුරා සම්පූර්ණයෙන්ම නවීකරණය කිරීමට නියමිතව තිබේ.
දිගු කලක් තිස්සේ පැවති මාර්ග අපහසුතා හේතුවෙන් පීඩාවට පත්ව සිටි ප්‍රදේශයේ ගොවි ජනතාවට තම කෘෂි අස්වනු ප්‍රවාහනය කිරීමටත්, ධීවර කර්මාන්තය ජීවනෝපාය කරගත් පිරිස්වලට තම නිෂ්පාදන වෙළඳපොළට රැගෙන යාමටත් මෙමගින් විශාල පහසුවක් සැලසෙනු ඇත. ග්‍රාමීය මාර්ග පද්ධතිය ශක්තිමත් කිරීම තුළින් ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් බව බලධාරීන් පෙන්වා දෙයි.














