ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ඝාතනයට එරෙහිව කර්නාටක ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශවල පැවැති විරෝධතා ව්‍යාපාර නීතිවිරෝධී ලෙස පවත්වා ඇත්නම් ඒ සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා බව කර්නාටක ප්‍රාන්ත රජය ඊයේ (03) ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම බැංගලෝරයට කිලෝමීටර් 70ක් පමණ දුරින් පිහිටි චික්බලපූර් දිස්ත්‍රික්කයේ අලිපුර (Alipura) ගම්මානයේ දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මහා පරිමාණ විරෝධතා සහ සැමරුම් වැඩසටහන් මෙලෙස රජයේ විශේෂ අවධානයට ලක්ව තිබේ.
විරෝධතාවලට සහභාගී වූවන් අතර මහජන නියෝජිතයන් (MLAs) සිටියද, පොදු නීතිය සැමට සමාන බවත්, නියමිත අවසරයකින් තොරව හෝ නියමිත ස්ථානවලින් බැහැරව විරෝධතා පවත්වා ඇත්නම් නීතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පැවසීය. බැංගලෝරයේ විරෝධතා පවත්වන්නේ නම් ඒවා නිදහස් උද්‍යානය (Freedom Park) තුළ පමණක් සිදු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
කමේනිගේ ඝාතනය සම්බන්ධ විරෝධතා නිරීක්ෂණය කරන ලෙස මධ්‍යම රජයෙන් මෙතෙක් නිල උපදෙසක් ලැබී නොමැති බවත්, කෙසේ වෙතත් ප්‍රාන්තයේ සාමය කඩවන කිසිදු ක්‍රියාවකට ඉඩ නොදෙන බවත් ඔහු සඳහන් කළේය.
මෙම විරෝධතා උත්සන්න වීමට හේතුව වූයේ 1981 වසරේදී අයතුල්ලා කමේනි මහතා අලිපුර ගම්මානයේ සංචාරය කරමින් එහි රෝහලක් විවෘත කිරීමයි. මේ හේතුවෙන් එම ගම්මානය ‘පුංචි ඉරානය’ ලෙස ද හඳුන්වන අතර, එහි වෙසෙන ෂියා මුස්ලිම් ප්‍රජාව කමේනි තම ආධ්‍යාත්මික නායකයා ලෙස සලකනු ලබයි.
මේ අතර, භාරතීය ජනතා පක්ෂයේ (BJP) ජ්‍යෙෂ්ඨ නායක ආර්. අශෝකා මහතා මෙම විරෝධතා දැඩි ලෙස විවේචනය කර ඇති අතර, කමේනි වැනි ‘ඒකාධිපති’ නායකයෙකු වෙනුවෙන් ඉන්දියාවේ විරෝධතා පැවැත්වීම නුසුදුසු බවත්, නීතිය අතට ගත් පිරිස්වලට එරෙහිව වහාම පියවර ගත යුතු බවත් පවසා තිබේ.















