වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පියවර ගන්නා බව කර්නාටක මහ ඇමති සිද්ධරාමයියා (Siddaramaiah) අද (06) නිවේදනය කළේය. 2026-27 මූල්‍ය වර්ෂය සඳහා වන ඉන්දීය රුපියල් ට්‍රිලියන 4.48ක අයවැය වාර්තාව ඉදිරිපත් කරමින් ඔහු කියා සිටියේ, දරුවන්ගේ මානසික සෞඛ්‍යය, නින්ද සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම දැඩි තීරණය ගත් බවයි.මෙම නීතිය ක්‍රියාත්මක වුවහොත්, දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කරන ඉන්දියාවේ පළමු ප්‍රාන්තය බවට කර්නාටකය පත්වනු ඇත. මීට පෙර ඔස්ට්‍රේලියාව ද මෙවැනිම තහනමක් පැනවූ අතර, බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපා රටවල් කිහිපයක් ද මේ පිළිබඳව සිය අවධානය යොමු කර තිබේ. අධික ලෙස ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය භාවිතය නිසා දරුවන් තුළ ඇති වන අහිතකර බලපෑම් වළක්වා ගැනීම රජයේ මූලික අරමුණ වී තිබේ.සමාජ මාධ්‍ය තහනමට අමතරව, දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කිරීම සඳහා කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ ඉගෙනුම් පද්ධතියක් හඳුන්වා දීමට ද මහ ඇමතිවරයා යෝජනා කළේය. ඒ අනුව 8 වැනි ශ්‍රේණියේ සිට 12 වැනි ශ්‍රේණිය දක්වා සිසුන්ට සහාය වීම සඳහා ඉන්දීය තාක්ෂණ ආයතනය (IIT Dharwad) සමඟ එක්ව පුද්ගලීකරණය කරන ලද ඩිජිටල් ඉගැන්වීම් පද්ධතියක් ස්ථාපිත කිරීමට නියමිතය. මෙමගින් සිසුන් මිලියන 1.22කට පමණ ප්‍රතිලාභ සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.














