ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට එරෙහිව කාශ්මීරය පුරා හටගෙන ඇති දැවැන්ත විරෝධතා මර්දනය කිරීම සඳහා එරට බලධාරීන් අද (02) සිට දින දෙකක කාලයකට දැඩි සීමාවන් පනවා තිබේ.
ලක්ස් චෞක් (Lal Chowk), බුඩ්ගාම් සහ ආනන්ත්නාග් ඇතුළු ප්‍රදේශ රැසක ෂියා මුස්ලිම් ප්‍රජාව වීදි බැස ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට එරෙහිව විරෝධය පළ කරමින් සිටිති. මෙය පාලනය කිරීම සඳහා කාශ්මීරය පුරා පාසල් වසා දැමීමටත්, ජංගම අන්තර්ජාල සේවා අත්හිටුවීමටත් බලධාරීන් කටයුතු කර ඇත.
ශ්‍රීනගර්හි ප්‍රධාන මංසන්ධි පොලිසිය සහ අර්ධ මිලිටරි බලකායන් (CRPF) විසින් වසා දමා ඇති අතර, කටුකම්බි වැටවල් යොදා ගමනාගමනය සීමා කර තිබේ. කටකතා පැතිර යාම වැළැක්වීම සඳහා සමාජ මාධ්‍ය භාවිතය ද දැඩි ලෙස නිරීක්ෂණය කරමින් පවතී.
කාශ්මීර පොලිසිය විසින් එරට මාධ්‍ය ආයතන වෙත විශේෂ උපදේශනයක් නිකුත් කරමින්, ජනතාව කලබලයට පත් කරන ආකාරයේ සිරස්තල සහ තහවුරු නොකළ පුවත් පළ කිරීමෙන් වළකින ලෙස දැනුම් දී ඇත. ලක්ෂ 15කට අධික ෂියා මුස්ලිම් ජනතාවක් වෙසෙන කාශ්මීරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
















