කච්චතීව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික මංගල්‍යය අතරතුරදී ශ්‍රී ලංකා නාවික හමුදා සෙබළුන් තමිල්නාඩුවේ සිට පැමිණි තරුණයින් පිරිසකට පහර දී ඇති බවට තමිල්නාඩු කච්චතීව් සාම්ප්‍රදායික වන්දනා කණ්ඩායමේ සම්බන්ධීකාරක එස්. නල්ලතම්බි මහතා අද (මාර්තු 03) චෝදනා කළේය.
මෙවර මංගල්‍යය සඳහා ඉන්දියාවේ සිට පැමිණි බැතිමතුන් දූපතට ඇතුළු වන අවස්ථාවේදීත්, ආපසු යන අවස්ථාවේදීත් නාවික හමුදාව සහ පොලිසිය ඉතා රළු ලෙස හැසිරුණු බව ඔහු පවසයි. දැඩි හිරු රශ්මිය සහ අධික තදබදය හේතුවෙන් බැතිමතුන් පීඩාවට පත්ව සිටි අතර, වෙරළේ සුළු වේලාවක් රැඳී සිටීමට අවසර ඉල්ලූ තමිල්නාඩු තරුණයින් පිරිසක් සමඟ ඇති වූ බහින්බස්වීමකදී එක් නාවික හමුදා නිලධාරියෙකු ඔවුන්ට පහර දුන් බවට ඔහු සඳහන් කරයි. මෙම සිදුවීමෙන් පසු තමිල්නාඩු තරුණයින් විරෝධතාවයක ද නිරත වී ඇති අතර, පසුව නාවික හමුදා උසස් නිලධාරියෙකු මැදිහත් වී තත්ත්වය පාලනය කර තිබේ.
බැතිමතුන් 12,000කට අධික පිරිසක් පැමිණ සිටියද, දූපතට ඇතුළු වීමට තිබුණේ මාර්ග හතරක් පමණක් බවත්, ප්‍රභූවරුන් පිටව යන තෙක් සාමාන්‍ය ජනතාව පැය 10-12ක් පුරා දැඩි අව්වේ රඳවා තබා ගැනීම නිසා සියයකට අධික පිරිසකට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වූ බවත් නල්ලතම්බි මහතා වැඩිදුරටත් කියා සිටියේය. මීළඟ වසරේදී ඉන්දීය සහ ශ්‍රී ලංකා බැතිමතුන්ට වෙන් වෙන් වශයෙන් මාර්ග සකසා දෙන ලෙසත්, මෙවැනි ගැටලු ඇති නොවීමට දෙරටේ විදේශ අමාත්‍යාංශ මැදිහත් විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.















