නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික ගුවන් මගියෙකු අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මැලේසියාවේ සිට දිවයිනට පැමිණි මෙම සැකකරු පිළිබඳ ඇති වූ සැකය මත ඔහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී මෙම දුම්වැටි තොගය සොයාගැනීමට හැකි වී ඇත.
ඔහුගේ ගමන් මලු දෙකක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ දුම්වැටි 26,100ක් රේගු නිලධාරීන් විසින් භාරයට ගෙන ඇති අතර, එහි වෙළඳපොළ වටිනාකම රුපියල් 3,915,000ක් (තිස් නව ලක්ෂ පහළොස්දහසක්) පමණ වන බව ගණන් බලා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් රේගු බලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර, අදාළ දුම්වැටි තොගය රාජසන්තක කිරීමට නියමිතය.














