නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් එක්කෝටි දහසය ලක්ෂ හැත්තෑ දෙදහසකට (11,672,600) අධික වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි, ඖෂධ සහ සුවඳවිලවුන් තොගයක් සමඟ පුද්ගලයන් පස්දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. හොංකොං සිට පැමිණි මෙම පිරිස අතර චීන ජාතිකයන් දෙදෙනෙකු (එක් කාන්තාවක ඇතුළුව) සහ මොරටුව, මහරගම ප්‍රදේශවල පදිංචි ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු සිටින බව රේගුව සඳහන් කරයි. ඔවුන් ගුවන්තොටුපොළ “හරිත මාවත” (Green Channel) ඔස්සේ මෙම භාණ්ඩ පිට කිරීමට උත්සාහ කර ඇති අතර, එහිදී ඔවුන්ගේ ගමන්මලු තුළ තිබී මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 70,460ක් සොයාගෙන ඇත.
ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක රුපියල් ලක්ෂ 27ක් වටිනා විදේශීය දුම්වැටි කාටන් 90ක් (දුම්වැටි 18,000ක්) නීතිවිරෝධී ලෙස රැගෙන ඒමේදී රේගු නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත. අපරාධ මැඩලීමේ දීප ව්‍යාප්ත මෙහෙයුම යටතේ ඊයේ (22) දිනයේ පුද්ගලයන් 25,414 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී සැකපිට පුද්ගලයන් 374 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර වරෙන්තුකරුවන් 226ක් සහ විවෘත වරෙන්තුකරුවන් 68ක් සිටින අතර, බීමත් රියදුරන් 191ක් ඇතුළු රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 3,439 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.













