කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පරිගණක හා මූල්‍ය අපරාධ සඳහා යොදා ගැනීමට උත්සාහ කළ බවට සැක කෙරෙන භාවිත කළ ඇපල් (Apple) වර්ගයේ ජංගම දුරකථන 84ක් සමඟ චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වී තිබේ. අද (10) අලුයම 1.20ට පමණ චීනයේ කුන්මින් සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට පැමිණි 35 හැවිරිදි කාන්තාවක් සහ 31 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙලෙස රේගු නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව ඇත.
ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී රුපියල් මිලියන 5.3ක් පමණ වටිනා අදාළ ජංගම දුරකථන තොගයට අමතරව, චීනයේ නිෂ්පාදිත සිගරට් 10,000ක් සහ කිලෝග්‍රෑම් 40ක් බරැති චීන පැණි පුවක් පැකට් 400ක් ද සොයාගෙන තිබේ. මෙම උපාංග මෙරට තුළ සයිබර් මූල්‍ය වංචා සිදු කිරීම සඳහා රැගෙන ආ බවට රේගු බලධාරීන් සැක පළ කරයි. ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ශ්‍රී ලංකා පොලිසියේ සයිබර් අපරාධ විමර්ශන ඒකක සමඟ එක්ව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.














