වත්මන් රජයේ ප්‍රබල අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, භික්ෂූන් වහන්සේලා සහ ප්‍රසිද්ධ මාධ්‍යවේදීන් ඇතුළු සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන් 17 දෙනෙකුගේ නාමයන් අවභාවිත කරමින් මහා පරිමාණ මූල්‍ය වංචාවක නිරත වූ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ඩුබායි රාජ්‍යයේ සිට වට්ස්ඇප් (WhatsApp) ගිණුම් හරහා මෙම ජාවාරම මෙහෙයවා ඇති අතර, ඔහු මෙරටට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දැඩි ලෙස අන්තර්ජාල සූදුවට ඇබ්බැහි වී සිටි මෙම පුද්ගලයා, ඒ සඳහා මුදල් සොයා ගැනීමට මෙම වංචනික ක්‍රමය තෝරාගෙන ඇති බවයි. අමාත්‍ය නලින්ද ජයතිස්ස, සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන මහත්වරුන්ගේ රුව සහ නම් භාවිතා කරමින් ව්‍යාජ වට්ස්ඇප් සමූහ (Groups) නිර්මාණය කර ඇති මොහු, පක්ෂ අරමුදල්වලට සහ ආපදා සහන කටයුතුවලට යැයි පවසමින් මහජනතාවගෙන් මුදල් එකතු කර තිබේ. බැංකු ගිණුම් තුනක් හරහා මෙම මුදල් ලබාගෙන ඇති අතර, ඩුබායිහි අලෙවි නියෝජිතයෙකු ලෙස සේවය කර රැකියාව අහිමි වීමෙන් පසු ඔහු මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇත.
මෙම සැකකරු විදේශයක සිට වංචාව මෙහෙයවන බවට ලද තොරතුරු මත ගුවන්තොටුපළ බලධාරීන් දැනුවත් කර තිබූ අතර, ඉකුත් 20 වනදා ඔහු මෙරටට පැමිණෙන විට ආරක්ෂක අංශ දැලට හසු වී තිබේ. ප්‍රසිද්ධ මාධ්‍යවේදීන් සහ සංගීතවේදීන්ගේ නමින් ද පෙනී සිටිමින් මොහු සිදුකර ඇති මෙම සංවිධානාත්මක අපරාධය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි. තාක්ෂණය අවභාවිත කරමින් සිදුකරන මෙවැනි මුදල් වංචාවන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ආරක්ෂක අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
උපුටා ගැනීම: ගයාන් කුමාර වීරසිංහ- දිනමිණ













