මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හේතුවෙන් එම කලාපයේ රටවල් සිය ගුවන් අවකාශයන් වසා දැමීම නිසා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබේ. කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයාට අනුව, අද (01) සවස 5.00 වන තෙක් මැදපෙරදිග බලා පිටත්ව යාමට නියමිතව තිබූ සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති අතර, අද උදෑසන 6.15 වන විට පැමිණීමට තිබූ ගුවන් ගමන් 18ක් සහ පිටත්ව යාමට තිබූ ගුවන් ගමන් 25ක් සම්පූර්ණයෙන්ම අවලංගු කර ඇත.
ඊයේ (28) දින මැදපෙරදිග බලා පිටත්ව ගිය ෆිට්ස් එයාර් සහ එයාර් ඇරේබියා ගුවන් යානා දෙකක් ද ගුවන් අවකාශයන් වසා දැමීම නිසා අතරමඟ සිට නැවත කටුනායක වෙත හැරී ආ බව වාර්තා වේ. කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, එංගලන්තය සහ ජර්මනිය ඇතුළු අනෙකුත් කලාපීය සහ යුරෝපීය ගුවන් ගමන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව බලධාරීන් තහවුරු කරයි. පවතින තත්ත්වය මත ගුවන් ගමන් අවලංගු වීම නිසා මෙරටින් බැහැර වීමට නොහැකි වූ විදේශීය මගීන් සඳහා දින 07ක අතිරේක වීසා සහන කාලයක් ලබා දීමට ද ආගමන විගමන පාලක ජනරාල්වරයා පියවර ගෙන තිබේ.














