කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේදී සිය ගමන් මලු තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවාගෙන කොතල හිඹුටු (Salacia reticulata) කිලෝ ග්‍රෑම් 48.6 ක් නීතිවිරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ චීන ජාතිකයෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් තොටුපළේ දෛනික සෝදිසි කිරීම් අතරතුරදී ඊයේ (අප්‍රේල් 02) දිනයේදී මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
චීන ඊස්ටන් එයාර්ලයින්ස් (China Eastern Airlines) ගුවන් සේවයට අයත් MU 714 දරන යානයෙන් චීනයේ කුන්මිං (Kunming) බලා යාමට පැමිණි මෙම මගියා, තේ කොළ ඇසුරුම් ලෙස ලේබල් කරන ලද පැකට් තුළ මෙම කොතල හිඹුටු තොගය සඟවා තිබෙනවා. වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ කොතල හිඹුටු විශේෂයෙන් ආරක්ෂිත ශාකයක් ලෙස නම් කර ඇති බැවින් ඒවා මෙරටින් අපනයනය කිරීම සපුරා තහනම් වන අතර, මෙම නීතිවිරෝධී උත්සාහය රේගු ආඥාපනතේ විධිවිධානද බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව රේගු නිලධාරීන් තහවුරු කර සිටිනවා.
ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ අංශය ගුවන් තොටුපළ නිලධාරීන් සමඟ එක්ව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කර තිබෙනවා. මෙහිදී අත්අඩංගුවට ගත් කොතල හිඹුටු තොගයේ වටිනාකම රුපියල් 145,000 ක් පමණ වන බව ගණන් බලා ඇති අතර ඒවා රාජසන්තක කිරීමටත්, අදාළ චීන ජාතිකයාට රුපියල් 200,000 ක දඩයක් පැනවීමටත් බලධාරීන් පියවර ගත්තා.














