උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ හිමාල කඳු වැටිය ආශ්‍රිතව පිහිටි පූජනීය කේදාර්නාත් දේවාලය එළඹෙන අප්‍රේල් මස 22 වනදා සිට බැතිමතුන් සඳහා යළි විවෘත කරන බව උත්තරාකන්ඩ් ප්‍රාන්ත මහ ඇමති පුෂ්කර් සිං දාමි මහතා නිවේදනය කළේය. ශීත ඍතුව හේතුවෙන් මාස හයකට ආසන්න කාලයක් වසා තබා තිබූ මෙම පුදබිම විවෘත කරන නිශ්චිත දිනය සහ වේලාව මහා ශිවරාත්‍රී දිනය නිමිත්තෙන් හින්දු ලිත් ක්‍රමයට අනුව තීරණය කර ඇති බව ශ්‍රී බද්‍රිනාත්-කේදාර්නාත් දේවාල කමිටුව සඳහන් කරයි. ඒ අනුව අප්‍රේල් 22 වනදා පෙරවරු 8.00 ට බැතිමතුන් හට වන්දනාමාන කිරීම සඳහා දේවාලයේ දොරටු විවෘත වීමට නියමිතය.
කේදාර්නාත් පුදබිම විවෘත කිරීමත් සමඟ ප්‍රකට “චාර් දාම්” (Char Dham Yatra) වන්දනා ගමන සඳහා වන සම්පූර්ණ කාලසටහන ද මේ වන විට අවසන් කර තිබේ. ඒ අනුව ගංගෝත්‍රි සහ යමුනෝත්‍රි පුදබිම් අප්‍රේල් මස 19 වනදා විවෘත කෙරෙන අතර බද්‍රිනාත් දේවාලය අප්‍රේල් මස 23 වනදා බැතිමතුන් සඳහා විවෘත කිරීමට සැලසුම් කර ඇත. මෙම අවස්ථාවට සහභාගී වූ ආගමික නායකයින් සහ නිලධාරීන් පෙන්වා දුන්නේ මෙවර වන්දනා සමය සඳහා අවශ්‍ය සියලුම මූලික කටයුතු සහ ආරක්ෂක විධිවිධාන මේ වන විටත් සූදානම් කරමින් පවතින බවයි.














