කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ මෙතෙක් පැවති දැඩි අවශ්‍යතාවයක් සපුරාලමින්, යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ මූල්‍ය ප්‍රතිපාදන මත ස්ථාපිත කරන ලද අති නවීන ආසාදිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍රය (Incinerator) පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම යන්ත්‍රය සේවාවන් සඳහා එක් කළ අතර, ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 17කට අධිකය.
මෙම නව යන්ත්‍රය මගින් දිනකට සායනික අපද්‍රව්‍ය කිලෝ 1000කට අධික ප්‍රමාණයක් දහනය කිරීමේ හැකියාව පවතී. කෑගල්ල රෝහලෙන් දෛනිකව බැහැර කෙරෙන කිලෝ 300කට ආසන්න ආසාදිත අපද්‍රව්‍ය ප්‍රමාණය කළමනාකරණය කර ගැනීමට මින් පෙර පෞද්ගලික සමාගමකට විශාල මුදලක් ගෙවීමට සිදු වූ අතර, මෙම නව ස්ථාපිත කිරීමත් සමඟ එම පිරිවැය රෝහලට ඉතිරි කර ගැනීමට හැකි වේ. රෝහල් පාලන අධිකාරිය විසින් වසර ගණනාවක සිට කළ ඉල්ලීමක් වත්මන් රජයේ මැදිහත්වීම මත මෙලෙස ඉටු වී තිබීම විශේෂත්වයකි.
1960 වසරේ ආරම්භ වූ කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල මේ වන විට ඇඳන් 815ක ධාරිතාවයකින් යුක්ත වන අතර, ඉන් ලක්ෂ නවයකට අධික ජනතාවක් සේවා ලබා ගනිති. මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රෝහල් කාර්ය මණ්ඩලයේ උසස් නිලධාරීන් රැසක් සහභාගී වූහ.














