මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය “හැකි ඉක්මනින්” අවසන් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් (Keir Starmer) මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ යුද්ධය දිග්ගැස්සෙන සෑම මොහොතකම තත්ත්වය වඩාත් භයානක වන අතර, එය බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදම ඉහළ යාමට සෘජුවම බලපාන බවයි.
පසුගිය දිනවල එංගලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ ප්‍රජා මධ්‍යස්ථානවල සංචාරය කළ අවස්ථාවේදී, මෙම අර්බුදය තමන්ගේ එදිනෙදා ජීවිතයට කෙසේ බලපානු ඇත්දැයි ජනතාව දැඩි කනස්සල්ලෙන් පසුවන බව තමන් අත්දුටු බව අගමැතිවරයා සඳහන් කළේය. බිල්පත් ගෙවා ගැනීමට නොහැකිව ජනතාව විඳින පීඩනය තමන් හට හොඳින් වැටහෙන බවත්, පවතින අර්බුදයට විසඳුම් සෙවීමේදී ජනතාවගේ මෙම ආර්ථික දුෂ්කරතා කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
තමන් 1970 දශකයේ කම්කරු පන්තියේ පවුලක හැදී වැඩුණු අයෙකු ලෙස, මාසය අවසානයේ වියදම් පියවා ගැනීමට නොහැකි වූ විට දැනෙන පීඩනය පෞද්ගලිකවම අත්විඳ ඇති බව ද අගමැතිවරයා මෙහිදී සිහිපත් කළේය. නිවසට බිල්පතක් පැමිණෙන සෑම අවස්ථාවකම ඇතිවන බිය සහ පීඩනය තමාගේ මතකයේ ඇති බවත්, එම නිසාම මෙම යුදමය තත්ත්වය නිසා ඉන්ධන සහ බලශක්ති මිල ඉහළ යාම පාලනය කිරීමට ජාත්‍යන්තර මට්ටමින් මැදිහත් වන බවත් ඔහු අවධාරණය කළේය.















