නීතිඥ වෘත්තියට අගෞරවයක් වන අන්දමින් කටයුතු කරමින් එහි ආචාර ධර්ම බරපතළ ලෙස උල්ලංඝනය කළ බවට චෝදනා ලැබූ කැකිරාව ප්‍රදේශයේ සේවය කළ නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (16) නියෝග කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් විවෘත අධිකරණයේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ එකඟතාවය ද ඊට හිමි විය.
මෙම නීතිඥවරියට එරෙහිව එල්ල වී තිබූ ප්‍රධාන චෝදනාව වූයේ 2023 ජූලි මස 27 වන දින කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු ගොනුවක් බලහත්කාරයෙන් උදුරා ගෙන එහි තිබූ අත් අකුරු පරීක්ෂාවකට අදාළ ලේඛනයක් කටේ දමා හපා විනාශ කිරීමයි. ඇය මෙම චෝදනාවලට වරදකරු බව පිළිගැනීමෙන් අනතුරුව, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර 5කට අත්හිටවූ වසරක සිරදඬුවමක් සහ රුපියල් 25,000ක දඩයක් ඇයට නියම කෙරුණි. දඩය නොගෙවන්නේ නම් අමතර මාස 6ක සිරදඬුවමක් ද නියම විය.
මීට අමතරව, මීට පෙර ඇයගේ නීතිඥභාවය අත්හිටුවා තිබූ කාලසීමාව තුළදී ද සේවාදායකයන්ගෙන් මුදල් ලබාගනිමින් නීතිඥ වෘත්තියේ යෙදීම සම්බන්ධයෙන් ද ඇයට චෝදනා එල්ල වී තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇයගේ නම නීතිඥ නාමාවලියෙන් වහාම ඉවත් කරන ලෙස රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළ අතර, මෙම තීරණය ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ කැකිරාව දිසා විනිසුරුවරයා වෙත ද දැනුම් දීමට පියවර ගැනුණි. ඇයගේ විදෙස් ගමන් ද මීට පෙර තහනම් කර තිබූ අතර, ඇඟිලි සලකුණු ලබාදීම සඳහා පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස ද අධිකරණය නියම කළේය.














