කඩුවෙල, අඹතලේ ජල පිරිපහදු මධ්‍යස්ථානයට ආසන්නව ගලා බසින කැලණි ගඟේ මසුන් දහස් ගණනින් මියගොස් ජලයේ පාවෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. පසුගිය දින කිහිපය පුරා මෙම තත්ත්වය දක්නට ලැබෙන අතර, මියගිය මසුන් විශාල වශයෙන් ගොඩගැසීම නිසා ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් ද හමා එමින් පවතී. මෙම අසාමාන්‍ය මත්ස්‍ය මරණ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් අදාළ ප්‍රාදේශීය සභාව, මධ්‍යම පරිසර අධිකාරිය සහ නාරා (NARA) ආයතනය වෙත දැනටමත් දැනුම් දී තිබේ.
ගඟේ ජලය දූෂණය වීම හේතුවෙන් මෙම මසුන් මියයන්නට ඇති බවට සැක පළ කරන ජනතාව, එමඟින් අඹතලේ ජල පිරිපහදුවෙන් බෙදා හරින පානීය ජලයට කිසියම් බලපෑමක් එල්ල වේදැයි දැඩි බියකින් පසුවෙති. කැලණි ගඟට කිසියම් විස සහිත අපද්‍රව්‍යයක් මුදාහැර තිබේද යන්න හෝ ජලයේ ඔක්සිජන් මට්ටම අඩු වීමක් සිදුව ඇත්ද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා මසුන් මියයාමට හේතුව වහාම අනාවරණය කරන ලෙස ඔවුහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. කැලණි ගඟ ආශ්‍රිතව පවතින කර්මාන්තශාලාවලින් බැහැර කරන අපද්‍රව්‍ය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන ලෙස පරිසරවේදීහු අවධාරණය කරති.














