කැලණිය ප්‍රදේශයේ කුලී නිවසක සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ යුවළක් අයිස් සහ හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැනීමට වත්තල පොලිසිය සමත්ව තිබේ. කලක් තිස්සේ මත්ද්‍රව්‍ය බෙදාහරින කණ්ඩායමක් පිළිබඳව පොලිසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මොවුන් කොටු කර ගැනීමට හැකි වී ඇත.
පොලිස් විමර්ශනවලට අනුව මොවුන් කොළඹ මිහිජය සෙවන මහල් නිවාස සංකීර්ණයෙන් මත්ද්‍රව්‍ය රැගෙනවිත් කැලණියේ මෙම නිවසේ සිට බෙදාහැරීම් සිදුකර ඇති බව අනාවරණය වී තිබේ. වැටලීම සිදුකරන අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 75ක්, හෙරොයින් ග්‍රෑම් 60ක් සහ ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 284,000ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රඳවා තබාගෙන මේ පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.














