අමෙරිකානු ප්‍රහාරක යානා ඉලක්ක විනාශ කරන වීඩියෝවක් සඳහා සිය 2010 වසරේ ජනප්‍රිය ගීතයක් වන ‘Blow’ යොදා ගැනීමට එරෙහිව ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේෂා (Kesha) දැඩි විරෝධය පළ කර තිබේ. ධවල මන්දිරය විසින් සිය ටික්ටොක් (TikTok) ගිණුමට එක් කළ මෙම වීඩියෝව මගින් ප්‍රචණ්ඩත්වය උසිගැන්වීම සහ යුද්ධය සැහැල්ලුවට ගැනීම “පිළිකුල් සහගත සහ අමානුෂික” ක්‍රියාවක් බව ඇය අවධාරණය කළාය. තම සංගීතය කිසිලෙසකත් මෙවැනි විනාශකාරී අරමුණු සඳහා භාවිත කිරීමට අනුමත නොකරන බව ද ඇය සඳහන් කළාය.
කේෂා සිය ‘X’ (පෙර ට්විටර්) ගිණුම හරහා කළ මෙම ප්‍රකාශයට ධවල මන්දිරයේ සන්නිවේදන අධ්‍යක්ෂ ස්ටීවන් චියුන්ග් (Steven Cheung) ඉතා රළු පිළිතුරක් ලබා දී තිබේ. ඔහු කියා සිටියේ මෙවැනි “ගායක ගායිකාවන්” විරෝධය පළ කිරීම හරහා ධවල මන්දිරයේ වීඩියෝ සඳහා වැඩි අවධානයක් සහ නරඹන්නන් ප්‍රමාණයක් (Views) ලැබෙන බවයි. “මේ කාරණය ගැන අවධානය යොමු කිරීම ගැන ඔබට ස්තුතියි,” යනුවෙන් පවසමින් ඔහු කේෂාගේ විවේචනය උපහාසයට ලක් කර ඇත.
තම අවසරයකින් තොරව ධවල මන්දිරය සිය නිර්මාණ භාවිත කිරීමට එරෙහිව හඬ නැගූ එකම ශිල්පිනිය කේෂා නොවේ. මීට පෙර සබ්‍රිනා කාපෙන්ටර් (Sabrina Carpenter) සහ ජෙස් ග්ලින් (Jess Glynn) වැනි ශිල්පිනියන් ද සිය ගීත පිටුවහල් කිරීමේ (Deportation) මෙහෙයුම් සහ අත්අඩංගුවට ගැනීම් පෙන්වන වීඩියෝ සඳහා යොදා ගැනීමට එරෙහිව දැඩි ලෙස විරෝධය පළ කර තිබුණි. එල්ටන් ජෝන්, ඒබීබීඒ (ABBA) සහ ඔලිවියා රොඩ්රිගෝ වැනි ලෝක ප්‍රකට කලාකරුවන් රැසක් ද මීට පෙර ඩොල්න්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා සිය සංගීතය භාවිත කිරීමට එරෙහිව නීතිමය සහ වාචික විරෝධතා ඉදිරිපත් කර ඇත.
කේෂා සිය ප්‍රකාශය අවසානයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එප්ස්ටයින් (Epstein) ලිපිගොනු පිළිබඳව ද සඳහන් කරමින් සිය දේශපාලන විරෝධය පළ කර තිබුණි. කලාකරුවන්ගේ නිර්මාණ අයිතිය සහ දේශපාලන න්‍යායපත්‍ර අතර පවතින මෙම ගැටුම මේ වන විට අමෙරිකානු මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත.














