මැදපෙරදිග කලාපය උඩුයටිකුරු කරමින් ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ඝාතනය කිරීමේ සූක්ෂ්ම සැලසුම ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වෙමින් පවතී. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම ඝාතනය සඳහා ඊශ්‍රායලය ටෙහෙරාන් නුවර ආවේක්ෂණ කැමරා පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී (Hacking), කමේනිගේ එදිනෙදා ගමන් බිමන් සහ ආරක්ෂක වැඩමුර පිළිබඳ සියුම් දත්ත සොරාගෙන තිබේ.
මෙම දැවැන්ත දත්ත ජාලය සකස් කර ඇත්තේ මොසාඩ් (Mossad) සංවිධානයේ ප්‍රභූ ඒකකයක් වන ‘එයිටි ටූ හන්ඩ්‍රඩ්’ (Unit 8200) මගිනි. ප්‍රහාරය එල්ල වූ දිනයේදී කමේනිගේ කාර්යාලයේ සන්නිවේදන පද්ධතිය අඩාල කිරීමටත්, එරට සිටි ඔත්තුකරුවන්ගේ සහාය ලබා ගැනීමටත් ඔවුන් පියවර ගෙන ඇත. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසන පරිදි, මෙම ඝාතනය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සැලසුම් කර ඇති අතර ඒ පිළිබඳව අගමැති නෙතෙන්යාහු සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ද සාකච්ඡා පවත්වා තිබේ.
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන ප්‍රහාරවලට අදට සතියක් සපිරෙන අතර, මේ වන විට කමේනි ඇතුළු 1,332 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඉරාන රතු අඩසඳ සංවිධානයට අනුව සිවිල් වැසියන්ගේ නිවාස 3,090ක් සහ ඔසුසල් ඇතුළු ස්ථාන 600ක් පමණ විනාශ වී තිබේ. අමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) පසුගිය පැය 72 තුළ පමණක් ඉරානයට ප්‍රහාර 200කට අධික සංඛ්‍යාවක් එල්ල කර ඇති බව වාර්තා වේ.
මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉරානයේ මීළඟ නායකයා පත් කිරීම තම අභිමතය පරිදි සිදුවිය යුතු බවයි. කමේනිගේ පුත්‍රයා එම ධුරයට පත්වීමට තමන් විරුද්ධ බව පවසන ඔහු, ඉරාන හමුදා අංශවලට වහාම අවි අත්හැර යටත් වන ලෙස දන්වා තිබේ. මීට ප්‍රතිචාර ලෙස ඉරානය ද සිය ‘කරම්ෂා 4’ (Khorramshahr 4) අති නවීන මිසයිල යොදාගනිමින් ඊශ්‍රායලයේ ටෙල් අවීව් වෙත ප්‍රහාර එල්ල කර ඇති බවත්, එම මිසයිල කිලෝමීටර් 2,000ක දුරක් ගමන් කළ හැකි බවත් වාර්තා වේ.














