උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සිය දියණිය වන කිම් ජූ ඒ (Kim Ju Ae) තම දේශපාලන අනුප්‍රාප්තිකයා ලෙස නිල වශයෙන් තෝරාගෙන ඇති බව දකුණු කොරියානු බුද්ධි අංශ ප්‍රකාශ කරයි. බ්‍රහස්පතින්දා දින එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරමින් ජාතික බුද්ධි සේවය (NIS) සඳහන් කළේ, මෑත මාස කිහිපය තුළ ඇය සිය පියා සමඟ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය උත්සවවලට සහභාගී වීම සහ සැප්තැම්බර් මාසයේදී චීනයේ බෙයිජිං නුවර සිදුකළ සංචාරය වැනි කරුණු පදනම් කරගෙන මෙම නිගමනයට එළැඹි බවයි. මීට පෙර “පුහුණු මට්ටමේ” සිටි ඇය දැන් “අනුප්‍රාප්තිකයා ලෙස නම් කිරීමේ” අදියරට පැමිණ ඇති බවත්, ඇතැම් රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇය අදහස් දක්වන බවට සාක්ෂි ලැබී ඇති බවත් බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙයි.
වයස අවුරුදු 13ක් ලෙස විශ්වාස කෙරෙන ජූ ඒ, 2022 වසරේදී මුල්වරට ලෝකය ඉදිරියට පැමිණි අතර එතැන් පටන් ඇය සිය පියාගේ දැඩි පාලක ප්‍රතිරූපය මෘදු කිරීමට දායක වන අයුරු දැකගත හැකි විය. උතුරු කොරියාවේ පීතෘමූලික සමාජ ක්‍රමය තුළ වැඩිමහල් පුතෙකු සිටියදී දියණියක මෙලෙස නායකත්වයට තේරීම විශේෂත්වයක් වන අතර, ඇය පොදු උත්සවවලදී සිය පියාට සමානව අසුන් ගැනීම සහ විලාසිතා ඇඳුම් භාවිත කිරීම හරහා ඇය එරට දෙවැනි ඉහළම බලවතා ලෙස සලකන බව සංකේතවත් කෙරේ. කෙසේ වෙතත්, කිම් ජොන් උන් තවමත් තරුණ වියේ පසුවෙද්දී මෙතරම් කලින් දියණියක අනුප්‍රාප්තිකයා ලෙස නම් කිරීම සම්බන්ධයෙන් දේශපාලන විශ්ලේෂකයින් අතර විවිධ මත ගැටුම් පවතී.














