ප්‍රසිද්ධ නිල තල අවභාවිත කිරීමේ සැකය මත ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් (හිටපු ඇන්ඩෲ කුමරු) අත්අඩංගුවට ගැනීමත් සමඟ බ්‍රිතාන්‍ය රජ පවුල දැඩි අර්බුදයකට මැදිව තිබේ. මේ සම්බන්ධයෙන් වහාම නිවේදනයක් නිකුත් කළ චාල්ස් රජු, බලධාරීන්ට තම පූර්ණ සහයෝගය ලබා දෙන බවත් “නීතිය නීතියේ ආකාරයටම ක්‍රියාත්මක විය යුතු” බවත් අවධාරණය කළේය. ලන්ඩනයට උතුරින් පිහිටි රජුට අයත් සැන්ඩ්‍රින්හැම් වතුයායේදී සිය සොහොයුරා අත්අඩංගුවට පත්වීම, රජ පවුලේ මෑතකාලීන ඉතිහාසයේ සිදුවූ වඩාත් කන්දොස්කිරියාවක් ලෙස සැලකේ.
මෙම සිදුවීමේදී චාල්ස් රජු අනුගමනය කරන දැඩි පිළිවෙත, ඔහුගේ මව වන දෙවැනි එලිසබෙත් රැජිනගේ ක්‍රියාකලාපයට වඩා බෙහෙවින් වෙනස්ය. මීට පෙර ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින් සමඟ පැවති සබඳතා හමුවේ රැජින සිය “ප්‍රියතම පුත්‍රයා” වූ ඇන්ඩෲ ආරක්ෂා කිරීමට උත්සාහ කළ බවට විවේචන එල්ල විය. එහෙත් චාල්ස් රජු සිය නිවේදනයේ ඇන්ඩෲව “සොහොයුරා” ලෙස හැඳින්වීම පවා මඟහැර ඇති අතර, පවුලේ සබඳතාවයට වඩා රට වෙනුවෙන් ඉටුකළ යුතු රාජකාරියට ප්‍රමුඛතාවය දී ඇති බව පෙනී යයි. විලියම් කුමරු සහ කැතරින් කුමරිය ද රජුගේ මෙම තීරණයට සිය එකඟතාවය පළ කර ඇත.
ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් මේ වන විට රක්ෂිත බන්ධනාගාරයෙන් මුදා හැර ඇතත්, ඔහු සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ. ඔහුට එරෙහිව මෙතෙක් කිසිදු නිල චෝදනාවක් ගොනු කර නොමැති අතර, ඔහු තමන්ට එල්ල වී ඇති සියලුම චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි. එප්ස්ටයින් සිද්ධියට අදාළව ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ලේඛන පදනම් කරගනිමින් මෙම නව විමර්ශන ආරම්භ වී තිබේ. මෙය ඩයනා කුමරියගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍ය රජ පවුල මුහුණ දෙන විශාලතම ප්‍රතිරූප අර්බුදය ලෙස විචාරකයෝ හඳුන්වති.














