එංගලන්තයේ සමස්ත වෙරළ තීරයම ආවරණය වන පරිදි ඉදි කළ, ලොව දිගම කළමනාකරණය කරන ලද වෙරළබඩ පදික මාවත අද (19) නිල වශයෙන් විවෘත කෙරේ. “III වන චාල්ස් රජුගේ එංගලන්ත වෙරළබඩ මාවත” (King Charles III England Coast Path) ලෙස නම් කර ඇති මෙහි සමස්ත දුර ප්‍රමාණය සැතපුම් 2,689ක් හෙවත් කිලෝමීටර් 4,327ක් පමණ වේ. ‘Natural England’ ආයතනය විසින් නිර්මාණය කරන ලද මෙම මාවත හරහා ඉතිහාසයේ පළමු වතාවට එංගලන්ත වෙරළ තීරය ඔස්සේ අඛණ්ඩව ගමන් කිරීමේ අවස්ථාව මහජනතාවට හිමි වේ. මින් පෙර මහජනතාවට තහනම් කර තිබූ වෙරළ තීරයන්, වැලි කඳු සහ ගිරිශිඛර හරහා ගමන් කිරීමට දැන් අවසර ලැබෙන අතර, සාමාන්‍යයෙන් දිනකට සැතපුම් 15ක් ඇවිදින අයෙකුට මෙම සමස්ත මාවත නිම කිරීමට වසර දෙකකට ආසන්න කාලයක් ගත වනු ඇතැයි ගණන් බලා තිබේ.












