වෙළෙඳපොළේ අලෙවි කරනු ලබන කිතුල් පැණි ශ්‍රී ලංකා ප්‍රමිතීන්ට අනුකූලව පවත්වාගෙන යාම සහ පාරිභෝගිකයන් හට උසස් ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන ලබා දීම තහවුරු කිරීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේදී විශේෂ සාකච්ඡාවක් අද (31) පවත්වා තිබේ.
මෙම සාකච්ඡාව සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) සහ වාණිජ මට්ටමින් කිතුල් පැණි නිෂ්පාදනයේ නිරත වන සමාගම්වල නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ. එහිදී කිතුල් පැණි නිෂ්පාදනය ශ්‍රී ලංකා ප්‍රමිතීන්ට (SLS) අනුකූලව සිදු කිරීමේ වැදගත්කම නිලධාරීන් විසින් පෙන්වා දුන් අතර උසස් තත්ත්වයෙන් යුතු ප්‍රමිතිගත නිෂ්පාදන පමණක් වෙළෙඳපොළට නිකුත් කිරීම සහතික කිරීම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
මෙම ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම කර්මාන්තයට සම්බන්ධ අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් ඉදිරියේදී තවත් පසු විපරම් රැස්වීමක් පැවැත්වීමට ද බලධාරීන් මෙහිදී තීරණය කර තිබේ. පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීම සහ ගුණාත්මකභාවයෙන් සපිරි කිතුල් පැණි පමණක් වෙළෙඳපොළේ පවතින බව සහතික කිරීම සඳහා අඛණ්ඩව පියවර ගන්නා බව නිලධාරීහු වැඩිදුරටත් අවධාරණය කළහ.














