කොක්කඩිචෝලේ, නෙල්ලිකාඩු ප්‍රදේශයේ කුඹුරු යායක පිහිටි පොදු ළිඳක් තුළ දමා සිටි කාන්තාවක අසාධ්‍ය තත්ත්වයෙන් බේරා ගැනීමට පොලිසිය සමත්ව තිබේ. ඊයේ (19) දින කොත්තියාපුලෙයි ප්‍රදේශයේදී සිය දරුවා සමඟ ගමන් කරමින් සිටියදී අතුරුදහන් වූ කාන්තාවක් මෙලෙස බේරාගෙන ඇති අතර එම ළිඳ තුළම තිබී තවත් කාන්තා මළ සිරුරක් ද සොයාගෙන ඇත. අද උදෑසන එම ප්‍රදේශයේ කිරි පට්ටියක් වෙත යමින් සිටි පිරිසකට ළිඳ තුළින් ඇසුණු කෑ ගැසීමක් හේතුවෙන් සිදුකළ පරීක්ෂාවකදී කරවටක් ජලයේ ගිලී සිටි මෙම කාන්තාව හමුවී තිබේ. වහාම ක්‍රියාත්මක වූ කොක්කඩිචෝලේ පොලිසිය ඇයව මුදාගෙන මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර තමන්ව ඊයේ දින පැහැරගෙන විත් දරුණු ලෙස පහර දී මෙම ළිඳට දැමූ බවට අසාධ්‍ය තත්ත්වයේ පසුවන කාන්තාව පොලිසියට ප්‍රකාශ කර ඇත. ඇය ලබාදුන් තොරතුරකට අනුව ළිඳ පරීක්ෂා කිරීමේදී අනෙක් මළ සිරුර සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොක්කඩිචෝලේ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.














