‘දිට්වා’ ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස හා දේපළ හානි වූ කොලොන්නාව ආසනයේ තවත් නිවාස හිමියන් 781 දෙනෙකු සඳහා වන්දි චෙක්පත් ප්‍රදානය කිරීම ඊයේ (10) සිදු විය. නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සහ කොලොන්නාව සංවර්ධන කමිටු සභාපති එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය කොලොන්නාව පුරාණ රජමහා විහාරස්ථානයේදී සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම වන්දි ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ අර්ධ හානි වූ නිවාස ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් වෙන් කර ඇති අතර, එය ලක්ෂ තුනක් සහ ලක්ෂ දෙකක් ලෙස අදියර දෙකක් යටතේ ලබා දීමට නියමිතය. ඊයේ දින සිදු කෙරුණේ එහි එක් අදියරකි. කොටිකාවත්ත, උඩුමුල්ල, මුල්ලේරියාව, අඹතලේ සහ සේදවත්ත ඇතුළු ග්‍රාම නිලධාරී වසම් 18ක පදිංචි ජනතාව මේ යටතේ ප්‍රතිලාභ ලැබූහ.
කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා සඳහන් කළේ, ග්‍රාමීය කමිටු නිර්දේශ මත පූර්ණ විනිවිදභාවයකින් යුතුව මෙම වන්දි පිරිනැමීම සිදු කරන බවයි. මේ වන විට කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3,060ක් සඳහා අර්ධ හානි පූර්ණ වන්දි ගෙවීම් අවසන් කර ඇති අතර, ඉතිරි පිරිස් සඳහා ද අදියරෙන් අදියර වන්දි ලබා දීමට කටයුතු සූදානම් කර ඇත. රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් මෙම කටයුතු කඩිනම් කර තිබේ.














