කොළඹ අගනගරයට ආසන්න වාණිජමය වටිනාකමකින් ඉහළ කොලොන්නාව ප්‍රදේශය දශක ගණනාවක් තිස්සේ මුහුණ දෙන දැඩි ගංවතුර තර්ජනයට තිරසර විසඳුම් ලබාදීමේ අරමුණින් රුපියල් මිලියන 10,000ක (බිලියන 10ක) ආයෝජනයෙන් යුත් විශේෂ සිවු අවුරුදු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම “කොලොන්නාව – වැසි ජල අපවහන සහ පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය” පිළිබඳ විශේෂ සාකච්ඡාවක් නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) රාජගිරියේදී පැවැත්විණි. 2018 වසරේ ආරම්භ කර විවිධ පරිපාලන සහ මූල්‍ය හේතු මත අසාර්ථකව පැවති පැරණි සැලසුම් වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය කරමින් වඩාත් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම මෙහි මූලික අරමුණයි.
වර්ග කිලෝමීටර් 17ක පෝෂක ප්‍රදේශයක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක මෙම ජාතික ව්‍යාපෘතිය මඟින් කොලොන්නාව ආසනයේ ග්‍රාම සේවා වසම් 46න් 35ක වෙසෙන පවුල් 40,000කට සෘජු ප්‍රතිලාභ හිමිවනු ඇත. විශේෂයෙන්ම කැලණි ගඟ පිටාර ගැලීමෙන් සිදුවන බලපෑම පාලනය කිරීම සඳහා ජල පාලන ගේට්ටු පද්ධති නවීකරණය, ඇළ මාර්ග පද්ධති ප්‍රතිසංස්කරණය සහ පහත් බිම් සංරක්ෂණය මෙහිදී ප්‍රමුඛව සිදු කෙරේ. දඬුතොට ඇළ, චිත්තම්පහුව ඇළ ඇතුළු ප්‍රධාන ඇළ මාර්ග පහක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත අතර, තුප්පාවල, කොටිකාවත්ත සහ බැලගම ප්‍රදේශවල අතිරික්ත වැසි ජලය රැඳවීම සඳහා ජල රැඳවුම් තටාක ඉදිකිරීමට ද සැලසුම් කර ඇත.
ගංවතුර අවදානම ඉහළ නැංවීමට හේතුවන අනවසර ගොඩකිරීම් සහ ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර, එවැනි අනවසර කටයුතු පිළිබඳ තොරතුරු 0112885357 හෝ 0714563534 යන අංක වෙත දැනුම් දෙන ලෙස ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. නාගරීකරණයත් සමඟ ඇතිවී තිබෙන කාණු පද්ධති අවහිරතා සහ අපවිත්‍ර ජල බැසයාමේ ගැටලුවලට පිළියම් යොදමින්, කොලොන්නාව ප්‍රදේශය ගංවතුරෙන් තොර සුරක්ෂිත නගරයක් බවට පත් කිරීම මෙම ව්‍යාපෘතියේ අවසන් ඉලක්කයයි.














