දිඹුල පතන පොලිස් වසමට අයත් කොටගල ග්‍රේන්ග්ලි වතුයායේ පිහිටි ඉලුක් රක්ෂිතයක ඊයේ (1) රාත්‍රියේ හදිසි ගින්නක් හටගෙන තිබේ. මෙම ලැව්ගින්න හේතුවෙන් රක්ෂිතයේ අක්කර 10කට ආසන්න භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වේ.
හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටි මෙම රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් සිතාමතාම ගිනි තබන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. රාත්‍රී 7:00 ට පමණ හටගත් මෙම ගින්න අද (02) අලුයම වන තෙක්ම වේගයෙන් පැතිර ගිය බවත්, ගින්න පාලනය කිරීම සඳහා කිසිවෙකුත් ඉදිරිපත් නොවූ බවත් ප්‍රදේශවාසීහු පවසති. සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














