නීති විරෝධී ලෙස බලපත්‍ර නොමැතිව රුපියල් ලක්ෂ හයකට අධික වටිනාකමකින් යුත් ඩීසල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි 25 හැවිරිදි තරුණයකු කොටහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරකට අනුව ජෝර්ජ් ආර්. ද සිල්වා මාවතේදී සිදුකළ වැටලීමකදී, ලීටර් 200 බැගින් වූ බැරල් 10ක අසුරා තිබූ මෙම ඉන්ධන තොගය පොලිස් භාරයට ගැනීමට හැකි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සම්පූර්ණයෙන්ම ආවරණය කරන ලද ලොරි රථයකින් මෙම ඉන්ධන තොගය අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඉන්ධන හිඟයක් මවාපාමින් කළු කඩ මිලට අලෙවි කිරීම සඳහා මෙලෙස ඉන්ධන රැස් කරන පිරිස්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස රජය ලබා දී ඇති උපදෙස් මත මෙම වැටලීම සිදු කර ඇත.













