කොටහේන පොලිස් වසමට අයත් ශාන්ත ලුසියා වීදිය ප්‍රදේශයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී රුපියල් ලක්ෂ ගණනක් වටිනා මත්කරල් 63,000ක තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ කැබ් රථයක් අත්අඩංගුවට ගැනීමට කොටහේන පොලිසිය සමත්ව තිබෙනවා. මෙම වැටලීම ඉකුත් 31 වනදා උදෑසන කාලයේදී සිදුකළ බවයි පොලිසිය පවසන්නේ
මාර්ගයේ ධාවනය වූ සැකකටයුතු කැබ් රථයක් නවතා කොටහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ පරීක්ෂාවකදී, එම රථය තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මෙම මත්කරල් හැට තුන්දහසක ප්‍රමාණය සොයා ගැනීමට හැකිව තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21, 31 සහ 35 යන වයස්වල පසුවන පුද්ගලයන් වන අතර ඔවුන් වෙන්නප්පුව සහ කල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත
මත්කරල් තොගය ප්‍රවාහනය කිරීමට යොදාගත් කැබ් රථය ද මේ වන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම මත්කරල් තොගය කොහේ සිට කොහේට ප්‍රවාහනය කරමින් තිබුණේ ද සහ මෙයට සම්බන්ධ ජාලය පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබන අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි














