පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම විශාල ලෙස පහත බැස තිබේ. ජල පෝෂක ප්‍රදේශවලට බලපා ඇති දැඩි නියඟය මීට ප්‍රධාන හේතුව වී ඇති අතර, මේ හේතුවෙන් ජලාශයේ වාන් දොරටු ඇතුළු අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සිදු කිරීමට ඉංජිනේරුවන් පියවර ගෙන ඇත.
ජල මට්ටම අඩුවීමත් සමඟ වසර ගණනාවක් තිස්සේ ජලයෙන් යටව පැවති කඩදොර, තිස්පනේ සහ ඕතලාව වැනි ඓතිහාසික විහාරස්ථානවල නටබුන් සහ අනෙකුත් ස්ථාන යළි මතුව තිබේ. මේවා නැරඹීම සඳහා දිනපතා විශාල පිරිසක් පැමිණෙන අතර, ජලාශය පතුලේ ඇති රොන් මඩ සහිත ස්ථානවලට බැසීමෙන් වළකින ලෙස ආරක්ෂක අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ජීවිත අනතුරු වළක්වා ගැනීම සඳහා දැඩි අවධානයෙන් පසුවන ලෙස ද නිලධාරීහු වැඩිදුරටත් අවධාරණය කරති.














