තම සැමියාගේ හදිසි මරණයෙන් පසු ශෝකය පාලනය කරගැනීම පිළිබඳව දරුවන් වෙනුවෙන් පොතක් ලියා ප්‍රසිද්ධියට පත් වූ අමෙරිකාවේ යුටා (Utah) ප්‍රාන්තයේ වෙසෙන කූරි රිචින්ස් (Kouri Richins) නමැති කාන්තාව, තම සැමියාව ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු බව එරට අධිකරණයක් තීන්දු කළේය. 2022 මාර්තු මාසයේදී අධික මාත්‍රාවකින් යුත් ෆෙන්ටැනයිල් (fentanyl) නමැති මත්ද්‍රව්‍ය මිශ්‍ර කළ පානයක් ලබා දීමෙන් ඇය සිය සැමියා වූ එරික් රිචින්ස්ව ඝාතනය කර ඇති බව ජූරි සභාව ඒකමතිකව තීරණය කර තිබේ. පසුගිය සඳුදා පැය තුනක පමණ සාකච්ඡාවකින් අනතුරුව ජූරි සභාව මෙම තීන්දුවට එළැඹි අතර, සැමියාගේ මරණයෙන් පසු රක්ෂණ වන්දි මුදල් වංචනික ලෙස ලබා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ද ඇය වරදකරු විය.
නඩු විභාගයේදී අනාවරණය වූ කරුණුවලට අනුව, 35 හැවිරිදි මෙම කාන්තාව ඩොලර් මිලියන ගණනක ණය බරින් මිරිකී සිටි අතර ඇය සිය සැමියාගේ නමින් රක්ෂණාවරණ කිහිපයක් ද ලබාගෙන තිබුණි. එසේම ඇය වෙනත් පුද්ගලයෙකු සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බව ද මෙහිදී හෙළි විය. පැමිණිල්ල පාර්ශ්වයෙන් සාක්ෂිකරුවන් 40කට අධික පිරිසක් කැඳවා තිබූ අතර, ඝාතනය සඳහා යොදාගත් මත්ද්‍රව්‍ය ඇයට අලෙවි කළ බව කියන කාන්තාව ද ඒ අතර විය. කෙසේ වෙතත්, විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායම කිසිදු සාක්ෂිකරුවෙකු කැඳවීමට කටයුතු නොකිරීම විශේෂත්වයකි.














