2022 වසරේ ඇමරිකාවේ අයිඩහෝ විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකු ඝාතනය කිරීමේ පුවත මුළු ලොවම කම්පා කළ අතර, එම ප්‍රහාරයෙන් මියගිය කයිලී ගොන්සාල්වෙස්ගේ (Kaylee Goncalves) මව වන ක්‍රිස්ටි ගොන්සාල්වෙස් සිය සුවවීමේ ක්‍රියාවලියේ නව අදියරක් පිළිබඳව අද (02) සංවේදී හෙළිදරව්වක් කළාය. තම දියණියගේ අහිමි වීමත් සමඟ වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ ඇය දැඩි මානසික අවපීඩනයෙන්, නින්ද නොයාමෙන් සහ භීතිකාවන්ගෙන් (Panic attacks) පීඩා විඳින බව ඇය පවසයි.
ඝාතක බ්‍රයන් කෝබර්ගර්ට (Bryan Kohberger) 2025 වසරේදී සමාව දිය නොහැකි ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුවද, තම දියණිය අහිමි වීමේ වේදනාව නිසා තවමත් ඖෂධ මත යැපීමට සිදුව ඇති බව ඇය පවසන්නීය. “මට සදහටම මෙහෙම ජීවත් වෙන්න ඕන නැහැ” යැයි පවසන ඇය, ඖෂධ මගින් හැඟීම් යටපත් කරගන්නවා වෙනුවට ඒවායින් මිදීම සඳහා හෙට (03) දින සිට “කැටමයින් තෙරපි” (Ketamine Therapy) නම් නව ප්‍රතිකාර ක්‍රමයක් ආරම්භ කිරීමට නියමිතය.
මීට අමතරව ඇය EMDR (Eye Movement Desensitization and Reprocessing) නම් මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමය ද ඉදිරි සතිවලදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙයි. සිය පවුලේ අයගේ සහ හිතවතුන්ගේ පූර්ණ ආශිර්වාදය මැද ඇය මෙම තීරණය ගෙන ඇත්තේ වසර ගණනාවක් තිස්සේ තමා පසුපස හඹා එන බියකරු සිහිනවලින් මිදී යථා තත්ත්වයට පත්වීමේ අරමුණෙනි.
















