කුමන ජාතික වනෝද්‍යානය තුළ පිහිටි කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ චෙකොස්ලොවැකියානු ජාතික ස්වාමීන් වහන්සේ නමක් වන අතිපූජ්‍ය නන්ද හිමියන් වන සතෙකුගේ පහරදීමකට ලක්ව අපවත් වී ඇති බව පානම පොලිසිය සහ වනජීවී නිලධාරීහු තහවුරු කරති. 45 හැවිරිදි වියේ පසුවූ උන්වහන්සේ බඹරගස්තලාව පුරාවිද්‍යා භූමියේ පිහිටි ගල් ගුහාවක හුදෙකලාව භාවනායෝගීව වැඩ වසමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබේ. උන්වහන්සේ ගුහාව තුළ වැඩ නොසිටීම හේතුවෙන් සෙසු ස්වාමීන් වහන්සේලා සිදුකළ සෝදිසි කිරීමකදී උන්වහන්සේගේ දේහය ආරණ්‍යය අසල වනාන්තරයේ තිබී සොයාගෙන ඇත. දේහය පරීක්ෂා කිරීමේදී ගෙල සහ පපුව ප්‍රදේශයට බරපතල තුවාල සිදුව තිබූ අතර, එම ස්ථානය අවට කොටියෙකුගේ පා සටහන් රැසක් නිරීක්ෂණය වූ බව නිලධාරීහු සඳහන් කරති.
වනජීවී සංරක්ෂණ එකමුතුවේ ලේකම්, පරිසරවේදී නයනක රන්වැල්ල මහතා ප්‍රකාශ කළේ වන සතුන් ගහණය අධික ජාතික වනෝද්‍යානයක් තුළ මෙලෙස වැඩ විසීමේ පවතින අවදානම පිළිබඳව තමන් මීට පෙර කිහිප වතාවක්ම ස්වාමීන් වහන්සේලා දැනුවත් කර තිබූ බවයි. පවතින තත්ත්වය හමුවේ වනෝද්‍යානය තුළ වන සතුන් සහ මිනිසුන් අතර ගැටුම් වර්ධනය වීම වැළැක්වීමට කඩිනම් පියවර ගත යුතු බව වනජීවී නිලධාරීහු පවසති. පානම පොලිසිය සහ වනජීවී දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන අතර මෙම කොටියා මනුෂ්‍ය භක්ෂක තත්ත්වයට පත්ව ඇත්ද යන්න පිළිබඳව ද අවධානය යොමු කර තිබේ.














