පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4 වැනි ජාතික සමුළුව ඊයේ (01) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර, එහිදී එම පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා වත්මන් ආණ්ඩුවේ විදේශ සහ ආර්ථික ප්‍රතිපත්තිය දැඩි විවේචනයට ලක් කළේය.
වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ජාතික ජන බලවේග ආණ්ඩුව, අමෙරිකාව සහ ඉන්දියාව සමඟ රට පාවා දෙන රහස් ගිවිසුම්වලට එළඹ ඇති බවත්, එමගින් රට බරපතල අනතුරකට ඇද දමා ඇති බවත් ඔහු චෝදනා කළේය. මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ අමෙරිකානු අධිරාජ්‍යවාදය ලෝකයම ගිලගැනීමට උත්සාහ කරන මොහොතක, ආණ්ඩුව මෝදි සහ ට්‍රම්ප් වැනි නායකයන්ගේ නවලිබරල් වුවමනාවන් වෙනුවෙන් දණින් වැටී සිටින බව ඔහු පෙන්වා දුන්නේය.
පන්තියට බලය – බලයට පක්ෂය යන තේමාවෙන් පැවැති මෙම සමුළුවේදී ඔහු අවධාරණය කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට (PTA) එරෙහිව පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණ අද බලයට පත්ව වඩාත් මර්දනකාරී PSTA පනතක් ගෙන ඒමට උත්සාහ කරන බවයි. නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යය සුරකිමු යැයි පැවසූ පිරිස් අද IMF කොන්දේසි මත ජනතාව පාවා දෙමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.
අධිරාජ්‍යවාදී බල වියරුව පරාජය කිරීමට ඇති එකම විකල්පය සමාජවාදය බව පැවසූ ගුණරත්නම් මහතා, කියුබාව ලොවට ලබා දුන් ආදර්ශය අනුගමනය කරමින් ශ්‍රී ලංකාව තුළ නව දේශපාලන ගමනක් ආරම්භ කරන බව ප්‍රකාශ කළේය. තට්ටු මාරු දේශපාලන ක්‍රමය මෙන්ම වත්මන් “මාලිමා” පාලනය ද ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව ඔහුගේ මතයයි.















