ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගේ නම සහ රුව අවභාවිත කරමින් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන කෘතිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද මූල්‍ය ආයෝජන වංචා (Investment Scams) පිළිබඳව ඔහු නැවත වරක් මහජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබේ. NewsWire පුවත් සේවය සමඟ අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, තමන්ගේ පැරණි සම්මුඛ සාකච්ඡා වීඩියෝ AI තාක්ෂණය ඔස්සේ වෙනස් කර (Deepfakes), ව්‍යාජ ආයෝජන වෙබ් අඩවි ප්‍රවර්ධනය කිරීමට වංචාකරුවන් කටයුතු කරන බවයි.
තමන් මෙම වංචාකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට පැමිණිලි කර ඇති නමුත්, මෙතෙක් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද ඔහු සඳහන් කළේය. මෙවැනි වංචාවලින් බේරීම සඳහා ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නිල සමාගම් හෝ වෙබ් අඩවි පරීක්ෂා කරන ලෙසත්, නිල් පැහැති සත්‍යාපන ලකුණ (Blue Badge) සහිත ගිණුම් පමණක් විශ්වාස කරන ලෙසත් මහජනතාවට උපදෙස් ලබා දී ඇත. යම් හෙයකින් සැකකටයුතු වීඩියෝවක් දුටුවහොත් වහාම පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය වෙත දැනුම් දෙන ලෙස ද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.














