කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙවර වර්ෂයට අදාළ කෘෂිකාර්මික ව්‍යාපෘති සහ සැලසුම් පිළිබඳ විශේෂ රැස්වීමක් කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සහ වයඹ පළාත් ආණ්ඩුකාර තිස්සා වර්ණසූරිය මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම හමුවේදී නව තාක්ෂණය භාවිත කරමින් වගා කටයුතු දියුණු කිරීම සහ වැව් ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් විය.
මෙහිදී විශේෂ අවධානයක් යොමු වූයේ දිස්ත්‍රික්කයේ වැව් පද්ධතිය සිතියම්ගත කරමින් ‘ಡಿජිටල් ජල සම්පත් සිතියමක්’ (Digital Water Resource Map) සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳවයි. එසේම ජංගම දුරකතන මඟින් ගොවිජන සේවා නිලධාරීන් වෙත දත්ත යාවත්කාලීන කිරීමේ ක්‍රමවේදය සහ ජාතික වී යාය වැඩසටහන යටතේ ක්‍රියාත්මක වීමට නියමිත නව ව්‍යාපෘති ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ 2026 වසර සඳහා පොකුරු ගම්මාන සහ අපනයන ගම්මාන පිහිටුවමින් නව සැකසුම් මධ්‍යස්ථාන ඇති කිරීමට ද සැලසුම් ඉදිරිපත් කෙරිණි.
කුරුඳු වගාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ යෝජනා ඉදිරිපත් වූ අතර, කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ නව කුරුඳු සැකසුම් මධ්‍යස්ථාන ඉදිකිරීම සහ ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව වැඩි කර ගැනීම පිළිබඳව අවධානය යොමු විය. බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂිකා ආචාර්ය ලක්මිණී මහත්මිය පෙන්වා දුන්නේ පස පරීක්ෂා කර නිවැරදි වී ප්‍රභේද සහ පොහොර භාවිතය මඟින් වී වගාවේ ඵලදායීතාව ඉහළ නැංවිය හැකි බවයි. මීට අමතරව පොල් වගාව අතර අතුරු බෝගයක් ලෙස කුරුඳු වගාව ප්‍රචලිත කිරීමට ද පොල් වගා කිරීමේ මණ්ඩලය සමඟ එක්ව කටයුතු කිරීමට තීරණය විය.
මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේසිරි බස්නායක, නීතිඥ ගීතා හේරත් සහ අශෝක ගුණසේන යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.














