වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින කුරුණෑගල වැවිලි සමාගම, 2025 වසරේ ලැබූ ඉහළ මූල්‍ය ප්‍රගතියට සමගාමීව සිය සේවක ප්‍රජාව වෙනුවෙන් රුපියල් මිලියන 140 ක දැවැන්ත ප්‍රසාද දීමනා මුදලක් පිරිනැමීමට පියවර ගෙන තිබේ. මෙය 2024 වසරේ ලබා දුන් රුපියල් මිලියන 70 ක ප්‍රසාද දීමනාව හා සැසඳීමේදී 100% ක කැපී පෙනෙන වර්ධනයක් ලෙස සැලකේ.
“උත්සහය තුළින් – අභියෝග ජයගත්තෙමු” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ සේවක කාර්ය සාධන ඇගයීම සහ වාර්ෂික දිරි දීමනා ප්‍රදානය කිරීමේ උත්සවය වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) කුරුණෑගල Seasons Hotel පරිශ්‍රයේදී පැවැත්විය. මෙම වැඩසටහන යටතේ සමාගමේ සේවකයන් 1,066 දෙනෙකු සඳහා ප්‍රසාද දීමනා ප්‍රදානය කෙරුණු අතර, එක් කම්කරු සේවකයෙකු වෙනුවෙන් පිරිනැමුණු රුපියල් 75,000 ක දීමනාව පසුගිය වසරට වඩා රුපියල් 30,000 ක ඉහළ යාමකි.
2025 වසරේදී රුපියල් මිලියන 634 කට අධික බදු පෙර ලාභයක් උපයා ගැනීමට කුරුණෑගල වැවිලි සමාගම සමත්ව ඇති අතර එම ලාභයේ ප්‍රතිලාභ ආයතනයේ සාර්ථකත්වයට දායක වූ සේවක ප්‍රජාව වෙත සාධාරණව බෙදා දීම මෙහි අරමුණයි. මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි වර්ණසූරිය, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන සහ කුරුණෑගල වැවිලි සමාගමේ සභාපති එච්.එම්.පී. රත්නායක යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.














