සමාජ මාධ්‍ය ජාලයක පළ වූ යතුරුපැදි දැන්වීමක් උපයෝගී කර ගනිමින් තරුණයෙකු බිය ගන්වා රුපියල් දෙලක්ෂ හතළිස් හයදහසක කප්පම් මුදලක් ලබාගත් බව කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු කුරුවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සබරගමුව පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුයුක්තව සේවය කළ මෙම නිලධාරියා ඊයේ (01) දින අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. සැකකාර නිලධාරියා මීට පෙර කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන රජයේ මන්ත්‍රීවරයෙකුට එරෙහිව සිදු කළ පරීක්ෂණයක් හේතුවෙන් රත්නපුර ප්‍රදේශයට ස්ථාන මාරු කර සිටි අයෙකු බවද අනාවරණය වී තිබෙනවා.
කුරුවිට ප්‍රදේශයේ තරුණයෙකු විසින් එන්ජින් ධාරිතාව 1000cc වර්ගයේ යතුරුපැදියක් විකිණීමට ඇති බවට ‘වට්සප්’ (WhatsApp) සමූහයක පණිවිඩයක් පළ කර ඇති අතර එය දුටු සැකකාර පොලිස් පරීක්ෂකවරයා තවත් පුද්ගලයෙකු සමඟ මෝටර් රථයකින් එම නිවසට පැමිණ තිබෙනවා. එහිදී අදාළ යතුරුපැදිය සම්බන්ධයෙන් නීතිමය ප්‍රශ්න ඇති බව පවසා තරුණයාගේ පියා බිය ගන්වා ඇති අතර මෙම සිද්ධිය දුරදිග ගියහොත් පුතුන්ට විදේශගත වීමට පවා නොලැබෙන බවට තර්ජනය කරමින් සැකකරු මුලින්ම රුපියල් ලක්ෂ දහයක කප්පම් මුදලක් ඉල්ලා තිබෙනවා.
පසුව සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව එම මුදල රුපියල් ලක්ෂ තුනක් දක්වා අඩු කරගෙන ඇති අතර කුරුවිට – දැරණියගල මාර්ගයේදී රුපියල් 246,000 ක මුදලක් සැකකරු විසින් ලබාගෙන තිබෙනවා. මුදල් ලබා ගැනීමෙන් පසුව ද සැකකරු විසින් යතුරුපැදිය රැගෙන කඩුවෙල පොලිසිය අසලට එන ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් දිගින් දිගටම බලපෑම් කර ඇති අතර ඉන් පසුව තරුණයාගේ පියා තමන් දන්නා හඳුනන උසස් පොලිස් නිලධාරියෙකුට මේ බව දැනුම් දී තිබෙනවා.
ඒ අනුව මධ්‍යම අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත සබරගමුව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරිය ඇතුළු උසස් නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් කුරුවිට පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන කිහිපයක් ද පදනම් කර ගනිමින් වැඩිදුර සාක්ෂි රැස් කරමින් සිටින බව පොලිසිය පවසන අතර රත්නපුර විශේෂ විමර්ශන ඒකකය මඟින් ප්‍රශ්න කිරීම් සිදු කළ සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අද රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.














