කුවේට් ගුවන් සීමාව ඉලක්ක කර ගනිමින් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින් එරට සන්නද්ධ හමුදාවල දෙදෙනෙකු සහ කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කුවේට් ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරයි. ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා බැලස්ටික් මිසයිල 212 ක් සහ ඩ්‍රෝන යානා 394 ක් හඳුනාගෙන මැඩපැවැත්වීමට කුවේට් හමුදාව සමත්ව තිබේ.
ප්‍රහාරවලින් හමුදා නිලධාරීන් 67 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. මෙම ප්‍රහාර සිවිල් පහසුකම්, යටිතල ව්‍යුහයන් සහ ජනාවාස ඉලක්ක කර ගනිමින් එල්ල වී ඇති බවත්, රටේ ආරක්ෂාව වෙනුවෙන් කුවේට් සන්නද්ධ හමුදාවන් උපරිම සූදානමකින් පසුවන බවත් ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක කර්නල් සවුද් අල් අට්වාන් සඳහන් කළේය.














