කුවේට් වෙරළට ඔබ්බෙන් නවතා තිබූ දැවැන්ත ටැංකර් නෞකාවක සිදුවූ ප්‍රබල පිපිරීමක් හේතුවෙන් ගල්ෆ් කලාපයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් ආයතනය (UKMTO) පවසන්නේ පිපිරීමත් සමඟ නෞකාව තුළට දැඩි ලෙස ජලය කාන්දු වෙමින් පවතින බවයි.
මුබාරක් අල් කබීර් වරායට නාවික සැතපුම් 30ක් දුරින් මෙම අනතුර සිදුව ඇති අතර, පිපිරීමෙන් පසු කුඩා යාත්‍රාවක් එම ස්ථානයෙන් වේගයෙන් ඉවත්ව යන අයුරු නෞකාවේ කපිතාන්වරයා නිරීක්ෂණය කර තිබේ. මෙය එල්ල කරන ලද ප්‍රහාරයක් දැයි යන්න පිළිබඳව මේ වන විට සැක මතු වී ඇත.
කුවේට් බලධාරීන් පවසන්නේ මෙම සිදුවීම එරට මුහුදු සීමාවෙන් බැහැරව සිදුව ඇති බවයි. කලාපීය නාවික ගමන් මාර්ගවල ආරක්ෂාව පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව ඇති මොහොතක මෙම පිපිරීම වාර්තා වීම විශේෂත්වයකි.














