2028 වසරේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ (LA28) ප්‍රවේශපත් මිලදී ගැනීමේ පළමු අදියර සඳහා වන ලියාපදිංචිය හෙට (මාර්තු 18) අවසන් වන බව සංවිධායක මණ්ඩලය නිවේදනය කරයි. පසුගිය ජනවාරි මාසයේ සිට ආරම්භ වූ මෙම ලියාපදිංචි වීමේ අවස්ථාව සඳහා මේ වන විටත් ලොව පුරා රටවල් 197කින් මිලියන පහකට අධික ක්‍රීඩා ලෝලීන් පිරිසක් tickets.la28.org වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වී ඇති අතර එය 2028 ජූලි 14 වනදා ආරම්භ වීමට නියමිත මෙම ක්‍රීඩා උළෙල කෙරෙහි පවතින දැඩි උනන්දුව පෙන්නුම් කරන්නකි.
හෙට දිනට පෙර ලියාපදිංචි වන පිරිස අතරින් තෝරාගන්නා පිරිසකට අප්‍රේල් 9 සිට 19 දක්වා කාලය තුළ ප්‍රවේශපත් මිලදී ගැනීමේ විශේෂ අවස්ථාව හිමිවන අතර තෝරාගනු ලබන අයදුම්කරුවන්ට ඒ පිළිබඳව මාර්තු 31 සහ අප්‍රේල් 7 අතර කාලය තුළ විද්‍යුත් තැපෑල මගින් දැනුම් දීමට නියමිතය. ප්‍රවේශපත් මිලදී ගැනීමට අවස්ථාව ලබන අයෙකුට ඔලිම්පික් ඉසව් සඳහා ප්‍රවේශපත් 12ක් දක්වා මිලදී ගත හැකි අතර සමාරම්භක සහ සමාප්ති උළෙලවල් සඳහා එක් පුද්ගලයෙකුට වෙන් කරවා ගත හැක්කේ උපරිම ප්‍රවේශපත් 4 බැගින් පමණි.
මෙවර ඔලිම්පික් උළෙලට අලුතින් එක්වන බේස්බෝල් (Baseball) ක්‍රීඩාව සඳහා 2026 ලෝක බේස්බෝල් ක්ලැසික් තරගාවලිය හරහා ඩොමිනිකන් ජනරජය සහ වෙනිසියුලාව දැනටමත් සිය සුදුසුකම් තහවුරු කරගෙන ඇති අතර සත්කාරක ඇමරිකාව ද ඊට ඇතුළත් වේ. බේස්බෝල් තරගාවලිය ජූලි 13 සිට 19 දක්වා ඩොජර් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. මීට අමතරව ක්‍රීඩකයන්ගේ විවේක කාලය වැඩිකිරීම අරමුණු කරගනිමින් මෙවර පාපන්දු තරගාවලිය ඔලිම්පික් සමාරම්භක උළෙලට දින හතරකට පෙර එනම් ජූලි 10 වනදා ආරම්භ කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ.















