නිව්යෝර්ක්හි ලාගාඩියා (LaGuardia) ගුවන් තොටුපළේදී එයාර් කැනඩා එක්ස්ප්‍රස් (Air Canada Express) ජෙට් යානයක් සහ ගිනි නිවන රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලැබුවද, එය මීට වඩා දරුණු ව්‍යසනයක් විය හැකිව තිබූ බව ගුවන් සේවා විශේෂඥයෝ පෙන්වා දෙති. ඉකුත් ඉරිදා රාත්‍රියේ සිදුවූ මෙම දරුණු ගැටීමෙන් නියමුවන් දෙදෙනෙකු මියගිය අතර, යානයේ සිටි මගීන් සහ බිම සිටි පිරිස් ඇතුළුව දුසිම් ගණනක් තුවාල ලැබූහ.
ගුවන් සේවා ආරක්ෂණ විශේෂඥයන් පවසන පරිදි, මෙම අනතුරේදී සිදුවිය හැකිව තිබූ දැවැන්ත විනාශය පාලනය වූයේ “පිරිසිදු වාසනාව” (Pure luck) නිසාය. හිටපු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලන (FAA) ආරක්ෂක පරීක්ෂක ඩේවිඩ් සූසි (David Soucie) පෙන්වා දෙන්නේ, යානය ගොඩබස්වන අවස්ථාවේදී එය ගිනි නිවන රථයේ හරියටම මැද කොටසේ ගැටීම හේතුවෙන් රථය ඉදිරියට තල්ලු වී ගිය බවයි.
මෙම සුවිශේෂී ගැටුම් ලක්ෂ්‍යය හේතුවෙන් යානයේ තටුවල ඇති ඉන්ධන ටැංකිවලට හානි සිදු නොවී විනාශය යානයේ නාසය (Nose) ප්‍රදේශයට පමණක් සීමා වී තිබේ. එමගින් මහා පරිමාණයේ ගින්නක් හටගැනීම වැළකී ගිය අතර, එය මගීන් රැසකගේ ජීවිත බේරා ගැනීමට ප්‍රධානතම හේතුව වී ඇත. මේ වන විටත් මෙම අනතුර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වන අතර, ගුවන් තොටුපළේ ආරක්ෂක විධිවිධාන පිළිබඳව ද දැඩි අවධානයක් යොමුව පවතී.














