ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලගුනා බීච් (Laguna Beach) ප්‍රදේශය පුරා අද (2026 මාර්තු 25) හදිසියේම මහා ශබ්දයෙන් යුත් ආරක්ෂක සිරනු (Emergency Sirens) නාද වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි භීතියට පත්ව තිබේ. සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන වීඩියෝ දර්ශනවලට අනුව බොහෝ පිරිසක් සිතා ඇත්තේ කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව න්‍යෂ්ටික ප්‍රහාරයක් (Nuclear strike) එල්ල වෙමින් පවතින බවයි. සිරනු නාදය ඇසීමත් සමඟ නිවෙස්වලින් බැහැරට පැමිණි වැසියන් තමන්ට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන්නේ දැයි විමසමින් කලබල වී ඇති අයුරු වීඩියෝවල දැකගත හැකිය.
සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ලගුනා බීච් නගර සභාව ප්‍රකාශ කර ඇත්තේ මෙය කිසියම් කාර්මික දෝෂයක් හෝ අනපේක්ෂිත සිරනු පරීක්ෂාවක් විය හැකි බවයි. එමෙන්ම ප්‍රදේශයේ කිසිදු හදිසි අනතුරක් හෝ තර්ජනයක් නොමැති බවත් මහජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බවත් ඔවුන් අවධාරණය කරයි. සාමාන්‍යයෙන් මෙවැනි සිරනු නාද කෙරෙන්නේ ලැව්ගිනි, සුනාමි හෝ වෙනත් ස්වභාවික විපත් පිළිබඳව අනතුරු ඇඟවීමට වුවද කිසිදු පණිවිඩයකින් තොරව මෙය සිදුවීම මහජන විවේචනයට ලක්ව තිබේ. අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ මෙවැනි අනතුරු ඇඟවීමේ ශබ්ද නිකුත් වීම නිසා ජනතාව දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති අතර බලධාරීන් මේ වන විට සිරනු පද්ධතිය අක්‍රිය කර මෙම දෝෂය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.















