ලක්විජය බලාගාරය සඳහා 2025/2026 වාරයේ ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කළ විශේෂ විගණන වාර්තාව මඟින් බරපතළ අක්‍රමිකතා රැසක් අනාවරණය කර තිබේ. පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) දැනුම්දීමකට අනුව සිදුකළ මෙම විමර්ශනයේදී හෙළි වී ඇත්තේ, අදාළ ටෙන්ඩරය හිමිවූ ට්‍රයිඩන්ට් (Trident) සමාගම ලංසු කැඳවන දිනටත් සිය ලියාපදිංචිය පවා සම්පූර්ණ කර නොතිබූ බවයි.
මෙම විගණන වාර්තාවට අනුව ගල්අඟුරු ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා ට්‍රයිඩන්ට් සමාගම විසින් යොදාගත් පරීක්ෂණාගාරයේ බලපත්‍රය 2025 දෙසැම්බර් මාසයේදී අහෝසි වී තිබූ එකක් බව හෙළි වී ඇති අතර 2026 මාර්තු වන විටත් එම බලපත්‍රය යාවත්කාලීන කර තිබූ බවට කිසිදු සාක්ෂියක් හමු වී නොමැත. එසේම පැටවුම් වරායේ වාර්තා සහ බලාගාරයේ දත්ත අතර පැහැදිලි පරස්පරතා තිබියදීත්, ඒ පිළිබඳ සොයා බැලීමට ලංකා ගල්අඟුරු සමාගම පියවර ගෙන නොමැති බව විගණකාධිපතිවරයා පෙන්වා දෙයි. ගල්අඟුරු ගොඩබෑ හැකි උපරිම කාල සීමාව වූ 2025 නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා දින 40ක කාලය තුළ කිසිදු නැව්තොගයක් ගෙන්වා ගැනීමට සමාගම අපොහොසත් වීම ද මෙහිදී කැපී පෙනෙන කරුණකි.
පසුව සිදුකළ ක්ෂණික ප්‍රසම්පාදනවලදී පවා නුසුදුසු සමාගම් තෝරාගෙන ඇති අතර, මෙම තත්ත්වය මත ඉදිරියේදී අඛණ්ඩ විදුලි සැපයුමට බාධා එල්ල වීමේ අවදානමක් පවතින බව වාර්තාවේ සඳහන් වේ. අවම තාපජනන අගයක් සහිත ගල්අඟුරු සැපයූ සහ මීට පෙර ප්‍රතික්ෂේප වූ සමාගම් වෙතම නැවත ප්‍රසම්පාදනයන් ලබා දීම හරහා රජයට සිදුව ඇති පාඩුව පිළිබඳව ද මෙහිදී දැඩි අවධානය යොමු කර ඇත. මෙම වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තු විවාදයට ගැනීමට නියමිත අතර, වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස සිවිල් සංවිධාන ඉල්ලා සිටියි.













