රඹකැන්ඔය මහවැලි කලාපයේ පදියතලාව සහ මහඔය ප්‍රදේශවල ගොවි ජනතාවගේ දීර්ඝකාලීන ඉඩම් ගැටලුවලට විසඳුම් ලබා දෙමින්, ‘ගොවිබිමට හිමිකම’ වැඩසටහන යටතේ ඉඩම් බලපත්‍ර 850ක් බෙදා දීම ඊයේ (14) සිදු කෙරිණි. මෙහිදී පදියතලාව ප්‍රදේශයේ ගොවි පවුල් 500කට සහ මහඔය පොල්ලේබැද්ද ආදිවාසී ගම්මානයේ ගොවීන් 350කට තම ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය තහවුරු කෙරෙන බලපත්‍ර හිමි විය.
ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී ඔහු අවධාරණය කළේ, මහජනතාවගේ බදු මුදල් සුරක්ෂිත කරමින් ඒවා ජනතාවගේ සුබසාධනය සඳහාම යෙදවීම රජයේ ප්‍රතිපත්තිය බවයි. මීට අමතරව, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණය හා ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා, අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී මුතු රත්වත්තේ මහත්මිය සහ මහවැලි අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.කේ.හේරත් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.














