දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට පනවා තිබූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන හෙට (25) පෙරවරු 08.30 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ. පවතින වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් බදුල්ල, ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, මොණරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා මෙම ‘මට්ටම 1’ (විමසිලිමත් වන්න) යටතේ වන කහ පැහැති අනතුරු ඇඟවීම් බලපැවැත්වේ.
නායයෑමේ ලක්ෂණ ලෙස සැලකෙන පොළොවේ ඇතිවන පැලුම්, ගොඩනැඟිලිවල බිත්ති හෝ පොළොව මත ඇතිවන අලුත් පිපිරීම්, ගස් සහ විදුලි කණු ඇලවීම් මෙන්ම හදිසියේ දිය උල්පත් මතුවීම වැනි තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස එම සංවිධානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන් කඳුකර මාර්ගවල ගමන් ගන්නා රියදුරන් සහ බෑවුම් සහිත ප්‍රදේශවල පදිංචිකරුවන් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.
අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍රධාන ප්‍රදේශ වන්නේ බදුල්ලේ හල්දුම්මුල්ල, ගාල්ලේ නියාගම, මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර, ගඟ ඉහළ කෝරලේ, පාතදුම්බර, දොළුව, යටිනුවර සහ මැදදුම්බර යන කොට්ඨාසයි. මීට අමතරව කෑගල්ල, අරනායක, දෙහිඕවිට, යටියන්තොට, මාවනැල්ල (කෑගල්ල දිස්ත්‍රික්කය), මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරලේ, උකුවෙල, රත්තොට, විල්ගමුව, ලග්ගල පල්ලේගම මෙන්ම මොණරාගල බඩල්කුඹුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, අඹගමුව යන ප්‍රදේශ ද මෙම අවදානම් කලාපයට ඇතුළත් වේ.













