මෙරට සමස්ත ප්‍රවාහන පද්ධතියම නවීන තාක්ෂණයෙන් සන්නද්ධ, කාර්යක්ෂම සහ ගෞරවනීය සේවාවක් බවට පරිවර්තනය කිරීමේ දැවැන්ත සැලසුමක් රජය විසින් ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ අද (12) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී කොළඹ නගරයේ පවතින දැඩි වාහන තදබදයට ප්‍රධාන විසඳුමක් ලෙස “ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට්” (Lanka Metro Transit) බස් සේවාව හඳුන්වා දීමට පියවර ගන්නා බවත්, ඊට අදාළ බස් රථ මෙම වසරේ අගෝස්තු මාසය වන විට මෙරටට ගෙන්වීමට නියමිත බවත් අනාවරණය විය.
මෙම ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ නගරය වටා දිවෙන ප්‍රධාන මාර්ග 6ක් ඔස්සේ ආරම්භ කර පසුව මහනුවර සහ ගාල්ල ඇතුළු ප්‍රධාන නගර 8ක් දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. පෞද්ගලික වාහන කොළඹට පැමිණීම අවම කර මහජනතාව පොදු ප්‍රවාහනයට යොමු කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. මීට අමතරව, දැනට විසිරී පවතින බස් සේවාවන් වෙනුවට ‘සමූහ ආකෘතියක්’ (Cluster Model) යටතේ ක්‍රියාත්මක වන ප්‍රවාහන සමාගම් ක්‍රමයක් හඳුන්වා දීමට ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය. පෞද්ගලික බස් හිමියන් සහ රජය අතර විධිමත් ගිවිසුම් හරහා වඩාත් ගුණාත්මක සේවාවක් සැපයිය හැකි බවත්, ලාභදායීත්වය පිළිබඳ ගැටලු පවතින්නේ නම් රජයට ඊට මැදිහත් විය හැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
සාකච්ඡාවේදී අවධානය යොමු වූ තවත් විශේෂ කරුණක් වූයේ රියදුරු බලපත්‍ර සඳහා වන ලකුණු අඩු කිරීමේ ක්‍රමය (Demerit Point System) මාස 6ක් හෝ 7ක් ඇතුළත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමයි. එසේම ත්‍රිරෝද රථ, කුලී රථ සහ පාසල් වෑන් රථ සඳහා විධිමත් නියාමන රාමුවක් සැකසීමටත්, කැලණි වැලි දුම්රිය මාර්ගය නවීකරණය කිරීමටත් මෙහිදී තීන්දු කෙරිණි. ප්‍රවාහන අංශයේ සේවක සුබසාධනය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා, පෞද්ගලික අංශයේ සේවකයන්ට පවා විධිමත් පත්වීම් ලිපි සහ සුරක්ෂිතභාවය තහවුරු කළ යුතු බව අවධාරණය කළේය. මීට අමතරව ‘සිසු සැරිය’ සේවාව තවදුරටත් කාර්යක්ෂම කිරීමටත්, ප්‍රවාහන ක්ෂේත්‍රයේ සියලු ආයතන එක් වේදිකාවකට ගෙන එමින් ජාතික ප්‍රවාහන පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවීමටත් මෙහිදී සාකච්ඡා විය.














