කොළඹ නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට පිළියමක් ලෙස නවීන තාක්ෂණයෙන් යුත් “ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට්” (Lanka Metro Transit) බස් රථ සේවාව ලබන අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත. ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ඊයේ (12) පැවැති සාකච්ඡාවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව අනාවරණය කළේය.
මෙම නව ප්‍රවාහන ව්‍යාපෘතියේ විශේෂතා කිහිපයක් මෙසේය:
නියමු ව්‍යාපෘතිය සහ ව්‍යාප්තිය: ප්‍රථම අදියරේදී බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් කොළඹ අවට ප්‍රධාන මාර්ග 6ක් ඔස්සේ මෙම සේවාව ක්‍රියාත්මක වේ. පසුව මෙය ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික්ක දක්වාත්, ඉදිරි වසර 3 තුළ ප්‍රධාන නගර 8ක් දක්වාත් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. බහුවිධ ප්‍රවාහන ඒකාබද්ධතාව: ප්‍රධාන දුම්රිය ස්ථාන කේන්ද්‍ර කරගනිමින් අනෙකුත් ප්‍රවාහන මාධ්‍යයන් දුම්රිය පද්ධතිය සමඟ ඒකාබද්ධ කරන “බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන” (Multi-modal Transport Hubs) නිර්මාණය කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ත්‍රිරෝද රථ සහ වෑන් රථ නියාමනය: ත්‍රිරෝද රථ, ටැක්සි සහ පාසල් වෑන් රථ නියාමනය සඳහා නව ක්‍රමවේදයක් සකස් කර ඇති අතර, අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර එය ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඩිජිටල්කරණය: මෙම බස් රථ සේවාව පූර්ණ ඩිජිටල් පද්ධතියක් යටතේ ක්‍රියාත්මක වන අතර, අධිවේගී මාර්ග සඳහා විද්‍යුත් ගෙවීම් පද්ධතියක් හඳුන්වා දීමට ද මෙහිදී සාකච්ඡා වී තිබේ.














